දළදා පෙරහැර

0 comments

 
වර්තමාන දළදා පෙරහැර 

දළදා  පෙරහැරට අයත් සියලු කාර්යයන් සිදුකෙරෙන්නේ මාලිගාවේ නැකැත් සෑදීම සඳහා නියම කර ඇති නැකත්රාළ විසින් පිළියෙළ කරන නැකත්වලට අනුවය. කාරියකරවන කෝරාළ විසින් පෙරහැර පවත්වන දිනය හා වේලාවන් ගම් දහයේ විදානේවරුන්ට දැනුම් දී කටයුතු සුදානම් කරයි.
කප් සිටුවීම 

පෙරහැර මංගල්‍යයේ පළමු චාරිත්‍රය වන්නේ සතර මහා දේවාලයන්හි කප් සිටුවීමයි.පෙරහැරේ කටයුතු සාර්ථක ව සිදුකිරීම සඳහා දෙවියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම පිණිස සිව් මහා දේවාලයන් ඉදිරිපිටදී මෙම චාරිත්‍රය සිදුකරයි.කප් සිටුවීම සඳහා කොස් ගසක් හෝ රුක්අත්තන ගසක් යොදා ගනී. තෝරාගන්නා ලද ගස වටා ඇති භූමිය පිරිසිදු කොට ගසට පුද පූජා කිරීමෙන් අනතුරු ව සුදුවතින් සැරසුණු විෂ්ණු දේවාලයේ ආවතේවකරුවෙකු විසින් සෞභාග්‍යය සංකේතවත් කිරීම පිණිස කිරි වෑස්සෙන පරිදි ගස කපාහෙළයි. අනතුරුව සතර මහා දේවාලවලට බෙදාදීම පිණිස එය සතර කඩකට බෙදනු ලැබේ. මෙම කොටස් දේවාල පරිශ්‍ර සතරෙහි සිටවනු ලැබේ.
 
දේවාල අභ්‍යන්තර පෙරහැර 

කප් සිටුවීමෙන් අනතුරු ව පුරා දින පහක් ඒ ඒ දේවාල වටා කුඩා පෙරහැරක් පැවැත්වීම සිදුකරයි.  මෙය දේව භක්තියෙන් යුතු ව සන්ධ්‍යා භාගයේදී චාරිත්‍රානුකූල ව සිදුකරයි.

කුඹල් පෙරහැර

දේවාල අභ්‍යන්තර පෙරහැර නිමවීමෙන් අනතුරු ව ආරම්භ වන්නේ කුඹල් පෙරහැරයි. මෙහිදී කාරියකරවන රාළ විසින් මාළිගාව තුළ තිබෙන මුරායුධ, පලිහ, සේසත්, රිදී, උඩැක්කි, පන්තේරු, රීදී අත්පන්දම් ආදිය පිරිසිදු කොට ඒවාත් පෙරහැරට එක්කරමින් කුඹල් ‍පෙරහැර වීදි සංචාරය කරවයි. මෙම පෙරහැර දේවාල පෙරහැරට වඩා අලංකාර වන අතර ඊට ගම් දහයේ විදානේවරුන්, බෙරවාදකයන්, සහ නැට්ටුවන් මෙන් ම අලි ඇතුන් ද සහභාගි වේ. කුඹල් පෙරහැ‍රේදී සිව් මහා දේවාල පෙරහැර ද මාළිගාවේ පෙරහැරට එක් වී වීදි සංචාරය කරයි.
අතීතයේදී අලුත් වළං කදක් ගත් කුඹලෙක් පෙරහැරේ ඉදිරියෙන් ගමන් කිරීමේ චාරිත‍්‍රයක් පැවති අතර ඒ හේතුවෙන් මෙය කුඹල් පෙරහැර ලෙස නම්කර ඇත. එහෙත් අද වන විට එවැනි චාරිත්‍රයක් නොමැති අතර රන්දෝලි පෙරහැරට වඩා අලංකාර බවින් අඩු ආකාරයෙන් කුඹල් පෙරහැර පැවැත්වේ. එබැවින් මෙහි ගමන්ගන්නා නිලමේවරුන්ගේ වස්ත‍්‍ර සුදු පැහැයෙන් යුතු අතර පන්දම් සහ ආලෝකය ද අඩුය. එසේ ම අනෙකුත් නැටුම්කරුවන් මෙන් ම අලි ඇතුන් ද සීමිත ප්‍රමාණයක් පමණක් සහභාගි වෙති.

රන්දෝලි පෙරහැර
 කුඹල් පෙරහැරින් අනතුරු ව ආරම්භ වන්නේ රන්දෝලි පෙරහැරයි. මෙය ඉතා අලංකාරව හා විචිත්‍රවත් අයුරින් පැවැත්වේ. දෙවියන් වෙනුවෙන් කැපවුණු රන් කඩුව, රන් කෙණ්ඩිය ආදි දේවාභරණ දෝලාවෙහි තැන්පත් කර ගෙන යන බැවින් එය රන්දෝලි පෙරහැර නමින් හැඳින්වේ.
මෙම පෙරහැර සඳහා කරඬුව ගෙන යන ඇතා සරසනු ලබන්නේ මාලිගාවේ ප්‍රධාන දොරටුව අභියසදීය. පළමු වෙඩි හඬ සමඟ සිව් මහා දේවාල පෙරහැර මාලිගාව අසලට ගමන් කිරීම ආරම්භ කරයි. එවිට පනික්කයෝ ගොස් දියවඩන නිලමේ කැඳවා ගෙන එනු ලබති. දියවඩන නිලමේ නියමිත නැකතට අනුව කරඬුව පාවඩ පිට වඩම්මවන අතර තූර්ය නාද මධ්‍යයේ දළදා කරඬුව ඇතු පිට තබනු ලැබේ. අවසාන වෙඩි මුරයත් සමඟ පෙරහැර ගමන් අරඹන අතර ප්‍රධාන දොරටුව ඉදිරියේදී දියවඩන නිලමේට සමන්පිච්ච මල් මාලාවක් පැළඳවීම ද සිදුකරයි.
වර්තමාන පෙරහැරේදී ප්‍රථමයෙන් ම කසකරුවෝ ගමන් ගනිති. රටක සශ්‍රීකත්වයට අත්‍යවශ්‍ය සාධකයක් වන වර්ෂාව ආරම්භ වීමට පෙර ඇති වන විදුලි කෙටීම සහ ගෙරවීම එමගින් සංකේතවත් කරයි. ගිනි බෝලකරුවෝ,බෞද්ධ කොඩි ගෙන යන්නෝ, දිසා කොඩි ගෙනයන්නෝ මෙන් ම පිත්තල දිසා කොඩි ගෙන යන්නෝ ද ගමන් ගන්නේ ඉන් අනතුරු ව ය.
වසර 200ක පමණ පටන් දැකිය හැකි නර්තන අංග ද දළදා පෙරහැර තුළ දැකගත හැකිය. මෙම නර්තනවල විශේෂත්වය නම් උඩරට සම්ප්‍රදාය පදනම් කරගත් නැටුම් පමණක් දක්නට ලැබීමයි. පෙරහැර තුළ දක්නට ලැබෙන කඩු නැටුම් ආරම්භ වන්නේ ඉලංගම් මඩුවේදී රජුගේ හේවායන් විසින් සිදුකරන ලද කඩු හරඹ මූලාශ්‍ර කරගෙනය. දවුල්, හොරණෑ, තම්මැට්ටම්, තාලම්පට, හක්ගෙඩි සහිත හේවිසි වාදකයන් වයනු ලබන්නේ පෙරහැරට ම ආවේණික‍ හේවිසි නාද මාලාවකි. දළදාව වැඩමවන අවස්ථාවේදී අභිමානවත් ව හේවිසි වාදන පූජාව පැවැත්වේ. හස්තියෙකු පිට ගමන් ගන්නා පෙරමුණේ රාළ සහ ගජනායක නිලමේ පෙරහැර තුළ ගමන් ගන්නා සුවිශේෂ චරිත දෙකකි.
චාමර නැටුම හෙවත් සවරන් නැටුම් පෙරහැරට ලැබෙන්නේ රජ මාළිග‍යෙනි. විදුලි පංකා නොතිබුණ අවධියේ පවන් සැලීම සඳහා සවරම නැතහොත් චාමර භාවිත කරන ලදී. තරුණ කාන්තාවන් කිහිප දෙනකු රජුගේ දෙපස සිට චාමර සැලීම එකල සිරිත විය. මේ ඔස්සේ පෙරහැරේ සවරන් නැටුම් නිර්මාණය විය. ලී කෙළි නැටුම් ආරම්භ වී ඇත්තේ තරුණ සොල්දාදුවන්ගේ ජවය විදහා දක්වන නැටුමක් ලෙසිනි. පන්තේරු කණ්ඩායම, තාලම් කණ්ඩායම, හවඩි දඟයා, නෛයඩි කණ්ඩායම, කඩු සරඹ, අත් රබන්, තාලම් නැටුම, වේවැල් නැටුම, උඩැක්කි නැටුම, කඩු නැටුම් කණ්ඩායම, තම්මැට්ටම් වාදන කණ්ඩායම, රබන් රංගන කණ්ඩායම සහ පතුරු නැටුම් කණ්ඩායම් ද මෙහි දැකිය හැකි නැටුම් අංග අතර වේ. 
1919 නුගවෙල දිසාවගේ කාලයේදී වෙස් නැටුම් පෙරහැරට එක්වේ. ඊට පෙර වෙස් නැටුම් පෙරහැර තුළ දක්නට නොලැබුණු අතර කොහොඹා කංකාරිය පමණක් දැකගත හැකි විය. ලංකාවේ සෑම නැටුම් ශිල්පියෙකු ම දළදා පෙරහැරේ නැටුම් දැක්වීම කළ යුතු යයි විශ්වාස කෙරේ. එය අවශ්‍යතාවක් නො ව සම්ප්‍රදායකි.
උඩුවියන් සහිත පාවඩ මතින් කරඬුව වැඩමවන මංගල හස්ති රාජයා සමග දෑලේ ඇතුන් දෙදෙනා පෙරහැරෙහි දැකිය හැකි සුවිශේෂ අංගයකි. ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර කරඬුව වැඩම කිරීමේ භාග්‍යය සෑම ඇතෙකුට ම හිමි නොවන අතර ඒ සඳහා මංගල හස්තියෙකුට තිබිය යුතු සද්දන්ත කුලයේ ලක්ෂණවලින් පරිපූර්ණ විය යුතුය. එනම් ඇතාගේ සතර පා, හොඬය, වලිගය, ලිංගය යන අවයව භූමියේ ස්පර්ශ විය යුතු අතර කොඳු නාරටිය ද පැතලිව සමතලාව තිබිය යුතුය. වම් දළ දකුණු දළට වඩා මඳක් උස් විය යුතුය. එපමණක් නොව උපශාන්ත ගමන් විලාසයක්, තීක්ෂණ බුද්ධියක් මෙන් ම විශාල බරකින් යුත් දළදා කරඬුව වැඩමවාගෙන දින ගණනාවක් පෙරහැරේ ගමන් කිරීමට තරම් නිරෝගී සම්පත්තිය ද තිබිය යුතුය.
ඉතා වර්ණවත් හා විචිත්‍රවත් ඇඳුමින් සැරසුණු අලි ඇතුන් මෙම පෙරහැරට එක්කරන්නේ නොමඳ අලංකාරයකි. එපමණක් නො ව බෙර පද තාලයට අනුව රංගනයේ යෙදෙන කුඩා අලි පැටවුන් මනහර දසුනකි. එය දළදා පෙරහැරේ ශ්‍රී විභූතිය හා ප්‍රෞඩත්වය වැඩිදියුණු කරයි.
පෙරහැරේ දැකගත හැකි තවත් ජනප්‍රිය අංගයක් වන ගජගා වන්නම නටනු ලබන්නේ දළදා කරඬුව ඉදිරියේය. පැරණි ගජගා වන්නම නිර්මාණය වූයේ කවිකාර මඩුවෙනි. 1940 දශකයේදී රඹුක්කන සිද්ධාර්ථ හිමි නව නාද මාලාවක් එයට නිර්මාණය කළ අතර වර්තමාන පෙරහැරේ දක්නට ලැබෙන ගජගා වන්නම ඉදිරිපත් වන්නේ එම නාද මාලාවට අනුවය.
දන්ත ධාතූන් වහන්සේගේ භාරකරු ලෙස දියවඩන නිලමේ පෙරහැරේ ගමන් කළ ද අතීතයේදී රජතුමා ඊට සහභාගි විය. ඒ සමග ම රජුගේ සියලු නිලධාරීන් ද එක් එක් දිසාවට අදාළ ධජ පතාක සමග ඒ සඳහා සහභාගි විය යුතුය. එමගින් රජුගේ ශ්‍රී විභූතිය, රටේ එක්සේසත්භාවය පෙන්නුම් කෙරේ. වර්තමානයේදී ද එම ශ්‍රී විභූතිය සුරැකි ව පැවතීම සතුටට කරුණකි. 18 වන සියවසට නැවත ගමන් කිරීමක් ලෙස ද එය දැක්විය හැකිය. මුරායුධකරුවන් හා මුතු කුඩය, බුරුම කොඩි, ගම් දහයේ විදානේවරු යනාදී ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර අංගයන්ට පසු සිව් මහා දේවාල පෙරහැර ගමන් ගනී.
දියකැපීමේ මංගල්‍යය
රන්දෝලි පෙරහැරින් අනතුරු ව අස්ගිරි ගෙඩිගේ විහාරයේ සිදුකෙරෙන පුදපූජා පැවැත්වේ. ඉන් අනතුරු ව දියකැපීමේ මංගල්‍යය සිදුකරනු ලබයි. ගැටඹේ තොටේදී දේවාල කපුවන් ඔරුවෙන් ගඟ මැදට ගමන් කර, ගඟ මැදදී දිය මත අට මඟල ඇඳීමෙන් පසු දිය දෙබෑවන සේ රන් කඩුවකින් ගසා අලුත් දිය බඳුනක් පුරවා ගැනීම මෙහිදී සිදුකරයි. ඉන්පසු එම ජල බඳුන රන්දෝලාවෙහි තබා නැවත පෙරහැරකින් පුල්ලෙයාර් කෝවිල දක්වා ගමන් කරයි. එහි දිය බඳුන තැන්පත් කිරීමෙන් පසු අදාළ පූජා චාරිත‍්‍ර පැවැත්වීම සිදු වේ.
පසුදින පුල්ලෙයාර් කෝවිලෙන් දහවල් පෙරහැර පිටත් වේ. එය ගෙඩිගේ විහාරයට පැමිණ නැවතත් කරඬුව දළදා මාලිගයට වැඩම කරවයි. එහිදී දළදා මාලිග චතුරශ‍්‍රය වටා තුන් වළල්ලක් ගමන් කර මාලිගයට ගෙවදී. දින ගණනාවක් පුරා පැවැත්වූ පෙරහැර සාර්ථක ව නිමකළ බව සඳහන් පෙරහැර සංදේශය දියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලබන්නේ ඉන් අනතුරු ව ය.
 
වලියක් මංගල්‍යය
දළදා පෙරහැර මංගල්‍යයේ චාරිත‍්‍ර වාරිත‍්‍ර එතැනින් අවසන් නො වේ. දහවල් පෙරහැර දළදා මාලිගයට ගෙවැදීමෙන් පසු පුරා දින හතක් වලියක් මංගල්‍යය පවත්වනු ලබයි. පෙරහැර අවසන් වීමෙන් පසු දෙවියන්ට පිංපෙත් පැමිණවීම මේ ශාන්තිකර්මයේ මූලික අරමුණයි. මෙහිදී දළදා පෙරහැර සඳහා මූලික වී කටයුතු කළ දියවඩන නිලමේතුමා ප‍්‍රමුඛ නිලමේවරුන්ටත්, ඇතුල් කට්ටලේ සහ පිට කට්ටලේ සියලු ම නිලධාරීන්ටත්, නැටුම් ශිල්පීන්, අලි ඇතුන් ඇතුළු පෙරහැරේ ගමන් කළ සියලු දෙනාටත්, පෙරහැර නැරඹූ පිරිසටත් මොනයම් ආකාරයෙන් හෝ දළදා පෙරහැර උදෙසා ආධාර උපකාර කළ පිරිසටත්, පෙරහැරට සහභාගි වීම නිසා කිසියම් ආකාරයක වස්දොස්, අපල උපද්‍රව සිදු වූයේ නම් ඒ සියල්ල දුරුකිරීම ද මෙම ශාන්තිකර්මයෙන් අපේක්ෂා කෙරේ.
මහා විෂ්ණු දේවාලයේ සතරවන මාලයේ පැවැත්වෙන මේ ශාන්තිකර්මය වලියක් තෝත‍්‍රය, හද්දා වලියකුම, වලියකුම, වලියකුන් නැටීම ආදී වශයෙන් ද හැඳින්වේ. මෙය පැවැත්වෙන්නේ වසරකට එක්වරක් පමණක් වන අතර වෙනත් කවර හේතුවක් නිසා හෝ කිසිදු තැනක වලියක් මංගල්‍යය නොපැවැත්වේ.
වලියක් මංගල්‍යය පැවැත්වීමට නම් පළමුව විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේවරයාගෙන් අවසරය ලැබිය යුතුය. ඉන්පසු විෂ්ණු දේවාලයේ වන්නකුරාළ නම් වූ ඇතුල් කට්ටලේ නිලධාරියා විසින් ශාන්තිකර්මයට සහභාගිවන ශිල්පීන්ගේ නළලෙහි පරහද ආලේප කොට වලියක් මංගල්‍යය පැවැත්වීම සඳහා නිල අවසරය ලබා දේ. ශාන්තිකර්මය ඇරඹෙන්නේ මේ දෙදෙනාගේ ම අවසරය ලද පසුව ය. මේ සඳහා සහභාගි වන පිරිස් දින හතක් මස් මාංශ අනුභවය, මත්පැන් පානය, ස්තී‍්‍ර සේවනය ආදී කිළිවලින් වැළකී පේවී සිටීම අනිවාර්ය කරුණකි. මේ ශාන්තිකර්මය සඳහා දළදා පෙරහැරට දායක වූ යක්දෙස්සන්ට සහ බෙර වාදකයන්ට සහභාගි වීමට අවසර නොලැබේ. එසේ වුවද දළදා පෙරහැරට සහභාගි වූ ආලත්ති අම්මාවරුන්ගේ දායකත්වය දින හත පුරාම මේ ශාන්තිකර්මය සඳහා අනිවාර්ය වේ. එහිදී ආයුබෝවේවා යන පාඨය ගායනා කරනු ලබන්නේ ආලත්ති අම්මාවරු විසිනි.
වලියකුමේ අන්තර්ගත නාට්‍යමය පෙළපාලි ලෙස යක්කම් හැඳින්විය හැකිය. නයා යක්කම, වැදි යක්කම සහ මහ යක්කම ඒ අතරින් විශේෂ වේ. යක්කම්වලට අමතර ව කාලියාම, ගරා යකුන් නැටීම, ගුරුගෙ මාලාව, ආවැන්දුමේ දොඟ රොජිංත තත්ගජිංත වට්ටම, මල නැටීම, කීල බැඳීම යනාදී පෙළපාලි ද මෙහිදී සිදුකෙරේ. වලියකුමේ එන මල නැටීම, පඬුරු ලෑම, තෙල් මල් බෙදාගැනීම වැනි අවස්ථාවලදී පේ‍්‍රක්ෂක සහභාගිත්වය මැනවින් දක්නට ලැබේ. වලියක් මංගල්‍යයේ සත්වැනි දින පැවැත්වෙන ගරා නැටුමෙන් පසු වස්දොස් හැර වරු තුනක පිරිතක් සජ්ජායනා කෙරේ. නාථ දේවාලයේ විහාරගම් ලබා ඇති විහාරස්ථානයක භික්ෂූන් වහන්සේ ඒ සඳහා සහභාගි වෙති. වරු පිරිත අවසානයේ බලිබත් දානය දීමත් සමග හත්දාවලියක් මංගල්‍යය අවසන් වන අතර ඒ සමඟ දළදා පෙරහැර හා බැඳුණු සියලු චාරිත‍්‍ර ද අවසන් වේ.
Read More..

විෂ්ණු දේවාලයේ පෙරහැර

0 comments


ඇසළ පෙරහැරෙහි ගමන් ගන්නා දේවාල පෙරහැර අතර දෙවනුව ගමන් කරන්නේ විෂ්ණු දේවාලයේ පෙරහැරයි. ඇසළ පෙරහැරේ කප් සිටුවීමේදී කප බෙදාදෙන දේවාලය වශයෙනුත්, පෙරහැර අවසානයේ සිදුකෙරෙන වලියක් මංගල්‍යය පැවැත්වෙන දේවාලය වශයෙනුත් විෂ්ණු දේවාලය සුවිශේෂ වේ. මෙම දේවාලය ක්‍රි.ව. 1947 කාලයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් විසින් ඉදි කළේය. එදා සිට මහා රාජවරු තම අභිෂේක මංගල්‍යයන් පැවැත්වූයේ මෙම දේවාලයේය. විෂ්ණුගේ උපත සිදුවීම සඳහා මෙම දේවාල පෙරහැර පවත්වන බවට මතයක්‌ ඇත. තවත් තැනෙක සෝළීන් දොළොස්‌ දහසක්‌ ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සිද්ධිය සිහිවීමට මේ උත්සවය පවත්වන බවට මතයක්‌ ද ඇත. ඇසළ පෙරහැර ආරම්භයේදී පළමුව කප්සිටුවීම සඳහා නෑඹුල් කොස්‌ ගසක්‌ හෝ ඇසළ ගසක්‌ මෙම දේවාලයේ ගස්‌ කපන්නා විසින් කැපීමේ චාරිත්‍රය ද කෙරෙයි. පෙරහැර අවසන් වූ සත් දිනකින් බලියාගයන් හා නැටුම් රංගනයක්‌ද මේ දේවාලයේ කරයි. ඉහළ කෝට්‌ටේ, අළුත්නුවර, අම්බලකන්ද, අරන්දර, තාඹුගල යන ගම් පෙර රජවරු විසින් මෙම විෂ්ණු දේවාලය වෙත පවරාගෙන තිබිණි.
Read More..

නාථ දේවාලයේ පෙරහැර

0 comments

නාථ දේවාලය කැපවී ඇත්තේ මතු බුදුවන නාථ දෙවියන් වෙනුවෙනි. කප් සිටුවීමේදී කපෙහි මුල් කොටස වෙන් කෙරෙනුයේ නාථ දේවාලයටය. දිය කැපීමේ මංගල්‍යයේදී පළමුව ගැටඹේ තොටට බැසීමට අවසර ලැබෙන්නේ ද නාථ දේවාලයටය. කහ පැහැය නාථ දෙවියන්ගේ වර්ණය ලෙස පිළිගැනෙන අතර දළ හංසයා රථය වශයෙන් යොදාගැනේ. නාථ දේවාලයේ පෙරහැර පෙළගැසෙනුයේ ද දළදා මාළිගාවේ පෙළගැස්මට බොහෝ සෙයින් සමාන වන ආකාරයටය.
සෙංකඩගල පුරවරයේ ඉතා පැරැණිම දේවාලය නාථ දේවාලයයි. ඒ ගැන ජනප්‍රවාදයේ රසවත් කතාවක්‌ මෙසේය. දුම්බර යක්‌ගහ පිටියේ විසූ නාථ දෙවියෝ එකල සොළීරටින් පැමිණ පිටියේ දෙවියන් විසින් මහවැලි ගඟෙන් එතරට පළවා හැරීමෙන් පසු ඔහු ධර්මරාජ කන්දෙහි වාසය කළේය. එසේ සිටින අවදියේ දිනක්‌ ගස්‌ බෙනයක සිටි සුදු හාවෙකු පසුපස හිවලෙකු පන්නා යන සැටිත් පසුව හාවුන් හිවලා පිටුපස පන්නා යන සැටිත්, ඒ අතර කොටියකු මුවකු පිටුපස ලුහුබැඳ යන සැටිත්, පසුව මුවත් කොටියා පසුපස ලුහුබැඳ යන සැටිත් දුටුවේය. මේ ආශ්චර්යමත් සිදුවීම දුටු සෙංකඩ නම් බමුණා මේ ස්‌ථානයෙහි මහා බල ඇති හාස්‌කම් ඇති ස්‌ථානයක්‌ ලෙස සලකා ඔහු කුටියක්‌ ඉදි කළේය. මේ අවධියේ ගම්පොළ රාජ්‍ය කළ ෂෂෂ වැනි වික්‍රමබාහු රජු නගරයක්‌ ඉදිකිරීම සඳහා භූමියක්‌ සොයද්දී මේ ආශ්චර්යමත් සිදුවීම ගැන දැන මෙම ස්‌ථානයේ නාථ දේවාලය ඉදි කළේය. ඒ නිසා පළමුව මේ ස්‌ථානයේ වාසය කළ බමුණා සිහිවීම සඳහා මෙම නුවරට සෙංකඩගල යන නාමය තැබුවේය.
නාථ දේවාලය පිළිබඳ තවත් මතයක්‌ නම් ශ්‍රී වික්‍රම රාජ්‍ය සමයේ ඇහැලේපොල කුමාරිහාමි ලවා තම දරුවන් වංගෙඩියක ලා කෙටුව ස්‌ථානය මේ ස්‌ථානය බවයි.
නාථ දේවාලය පිළිබඳ තවත් මතයක්‌ නම් නාථ නම් බමුණකු මෙහි රෝපණය කළ දෙතිස්‌ බෝ අංකුරයක්‌ නිසා මේ ස්‌ථානය නාථ දේවාලය නමින් හැඳින්වූ බව. එය මූලබෝධි වංශය ග්‍රන්ථයේ සඳහන් වේ. බෝධි වහන්සේ අසල ඇති චෛත්‍ය දෙකෙන් එකක බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව තැන්පත් කර ඇත යෑයි සැලකේ. වර්ෂ 1705 - 1738 වකවානුවේ මහනුවර රජකළ වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු මෙම චෛත්‍ය දෙකෙත්, බෝධියේ ආරක්‍ෂාව සඳහාත් බෝධිය වටා ප්‍රාකාරයක්‌ ඉදිකළ බවට ඓතිහාසික සාක්‍ෂිවලින් ඔප්පුවේ. පැරැණි රජවරු නමක්‌ තෝරා ගැනීමේ මංගල උත්සවයන් පවත්වා ඇත්තේද මෙම නාථ දේවාලයේදීය. නම් ලියූ තල්පත් කැබලි බඳුනක්‌ මෙම දේවරුව ඉදිරියේ තැබිමෙන් පසු සෙසු පිරිවර සමඟ මහ රජු පැමිණි කල තල්පතක්‌ තෝරා අතට ගත් පසු මහා අදිකාරම්තුමා විසින් එය අතට ගෙන බලා එහි සඳහන් නම හඬ නගා කියයි.




Read More..

කතරගම දේවාලයේ පෙරහැර

0 comments
මෙම දේවාලය ස්කන්ධකුමාර හෙවත් කතරගම දෙවියන් නමින් කැප වී ඇත. දාහතරවන සියවසේදී පමණ ආරම්භ වූ බව සැලකෙන මහනුවර කතරගම දේවාලය දහසය වන සියවසේදී වඩාත් ජනපි‍්‍රය විය. කාවඩි නැටුම කතරගම දෙවියන් උදෙසා කෙරෙන නර්තන අතර සුවිශේෂ වේ.
කතරගම දේවාලයෙහි තතු පිළිබඳ පැහැදිලි කාල වකවානුවක්‌ නැත. කලක නායක්‌කාර් වංශික දෙමළ රජවරු පැමිණීමෙන් පසු කතරගම දේවාලය උතුම් ස්‌ථානයක්‌ ලෙසින් පවත්වා ඇතැයි සිතන්නට හැකිය. එසේ සිතිය හැක්‌කේ ස්‌කන්ධ කුමරුගේ උපත ද ඉන්දියාවේ සිදුවී ඇති නිසාය. ඉන්දියාවේ මැණික්‌ ගඟ අසබඩ වනයේ විසූ වැදි රජකුගේ දියණියක්‌ වන වල්ලි අම්මා සමඟ කතරගම දෙවියෝ ජීවත්වුණු අයකු ලෙස සලකන හෙයින්දෝ, වැඩි වශයෙන් කතරගම දෙවියන් අදහන්නේ ද්‍රවිඩ පිරිස්‌ය. සිංහල රාජ්‍ය සමයේ මෙම දේවාලයේ කපු මහතුන් වූයේ බ්‍රාහ්මණයන් බවට මතයක්‌ ඇත. මෙහි පුද පූජා විධි අනිකුත් දේවාල වලට සමය.

Read More..

පත්තිනි දේවාලයේ පෙරහැර

0 comments

ඇසළ පෙරහැරේ අවසානයට ගමන් ගන්නේ පත්තිනි දේවාලයේ දේවාල පෙරහැරයි. එම දේවාල පෙරහැරේ ගමන් කරන ඇතා පිට බැඳි රන්සිවිගෙයි තැන්පත් කර තිබෙනුයේ රනින් නිම වූ පත්තිනි දේව මෑණියන්ගේ කුඩා ප‍්‍රතිමාවකි. චිරාගත සම්ප්‍රදායක් අනුව දළදා පෙරහැරට කාන්තාවන් සහභාගි නොවුවද පත්තිනි දේවාල පෙරහැර සඳහා කාන්තාවන්ගේ දායකත්වය ලබාදීම සුවිශේෂ කරුණකි.
දළදා පෙරහැර 18 වන සියවසේ ශ්‍රී ලාංකීය රාජ්‍ය තන්ත්‍රය හා පරිපාලන ව්‍යුහයේ හරස්කඩක් ලෙස හඳුන්වා දීම නිවැරදිය. 18 වන සියවසේ ආර්ථික ක්‍රමය, සමාජ ව්‍යුහය, සංස්කෘතිය ඉන් නිරූපණය වේ. විශේෂයෙන්ම ආගම, කලාව හා දේශපාලන බලය මනාව සංයෝග කරන මහෝත්සවයක් ලෙස මෙය හැඳින්විය හැකිය. බුදුන් වහන්සේට, දළදා වහන්සේට මෙන් ම දෙවි දේවතාවන්ට දක්වන අප්‍රමාණ ගෞරවය හා ශ්‍රද්ධාව මෙමගින් මනාව විදහා දැක්වේ.
තම පතිවෘත්තය උතුම් අයුරින් ආරක්‍ෂා කළ එකට භාරතීය කාන්තාව පත්තිනි දේවියයි. ගජබා රජ සමයේ සොළීන් පරාජය කර සිරිලකට පැමිණීමේදී "පත්තිනි සළඹ" ගෙන ආ බව මහාවංශය කියයි. පත්තිනි දේවාලවල ආරම්භයද මෙකල සිදු වූ වකැයි සිතිය හැක. පුද පූජාවන් අනිකුත් දේවාල හා සමවේ. රෝග උපද්‍රවයන්ගෙන් වැළකීමට, දරු සම්පත් ලැබීමට, බිළඳු දරුවන්ගේ ආරක්‍ෂාවට පත්තිනි දේවියට භාරහාර වෙති. පත්තිනි දේවිගේ ගුණ හාස්‌කම් එමටය.

Read More..
 
Copyright 2011 @ දළදා වතගොත!
Design by Wordpress Manual | Bloggerized by Free Blogger Template and Blog Teacher | Powered by Blogger